ආයුර්වේද වෛද්‍යවරුන් 304කට ඉදිරියේ දී පත්වීම්

ආයුර්වේද වෛද්‍යවරුන් 304කට ඉදිරියේ දී පත්වීම්

July 14, 2025   03:57 pm

ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 304ක් සඳහා පත්වීම් ලබාදීම අනුමතව ඇති බැවින් එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය යටතේ වන යාපනය, කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයෙන් අනතුරුව පැවැති විශේෂ රැස්වීමක දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි. 

ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් තවත් 1000කට වඩා සිටින බවත් මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම රජයට බඳවා ගත නොහැකි බවත්, අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එම ‍වෛද්‍යවරුන් සඳහා සීමාවාසික පුහුණූව ලබාදුන් පසු මෙරට හෝ විදෙස්ගතව සේවය කරන්න අවස්ථාව ඔවුන් සඳහා සලසා දිය හැකි බව ද තව ඉදිරි පියවරක දී රජයට බඳවා ගෙන ඉන් යම් ප්‍රමාණයක් සංචාරක ක්ෂේයට ලබාදිය හැකි ද යන්න පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන බව ද  පැවසීය. 

මේ අතර මෙරට බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් නොව දේශීය ආයුර්වේද, සිද්ධ, යුනානි යන ක්ෂේත්‍රයන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන බවත්, මෙවර අයවැයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව වැඩි මුදලක් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. 

මෙරට ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන සියලු වෛද්‍ය ක්‍රමයන්ට අවශ්‍ය තැන ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේ මූලික වගකීමක් බවත්, ක්ෂේත්‍ර නොසලකා සිටිමට හෝ අඩු සැලකිලි දැක්විය හැකි ක්ෂේත්‍රත් නොවන බව ද පැවැසී ය. 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය විධිමත් කිරීමේ රජයේ නව වැඩපිළිවෙල යටතේ මේ වසරේ එම ප්‍රාථමික සත්කාර ඒකක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් වසර තුනක් තුළ ප්‍රාදේශීය මට්ටමින් නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 තුළ ම නොවුනත් ඒ ඒ ප්‍රදේශය අනුව ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය ක්‍රමයන් හදුනාගත් සහ අවශ්‍ය තැන්වල දී ඒකාබද්ධ කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. 

මෙම මධ්‍යස්ථාන ඖෂධ ලබාදෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් නොවන බවත්, සුවතා මධ්‍යස්ථාන ලෙස හැදින්විය හැකි බව ද පැවසී ය.

සංචාරක සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් වසරකට ලක්ෂ 40ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සුපරා ගත හැකි බවත්, දැනටත් මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන හේතුවක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ආයුර්වේද, සිද්ධ, යුනානි ප්‍රතිකාර සේවාවන් පෙන්වා දිය හැකි බව ද පැවසී ය. 

මුහුදු වෙරළ වෙනුවෙන් මාලදිවයිනට යන සංචාරකයින්ට අමතරව මෙවැනි ආකාරයේ ප්‍රතිකාර ලබාගැනිමට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි කර ගත යුතු බවත්, මෙම ක්‍රමවේද දෙක තුළ පමණක් ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට රැකියා ලබාදීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි. 

මේ අතර ඉදිරියේදී කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමේ හැකියාව පවතින බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කර හොඳ පිළිතුරක් ඉදිරියේ දී ලබාදිය හැකි බව ද පැවසී ය. 

වෛද්‍යවරු 16 ක් සිටින කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහලට දැනට සිටින දෙදෙනෙකුගෙන් යුත් හෙද කාර්ය මණ්ඩලය  කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව ද ඉදිරියේ දී අවශ්‍ය හෙද කාර්ය මණ්ඩල ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සේවය කරන හෙද නිලධාරින්ට වසර 03 කින් ස්ථානමාරු ලබාදෙන බවත්, ආයුර්වේද රෝහල්වල ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ආයුර්වේද රෝහල්වල හෙද කාර්ය මණ්ඩල වලට පමණක් එවැනි අසාධාරණයක් සිදු විය නොහැකි බව ද පැවසී ය. 

ඔසු උයන්වලින් ලැබෙන ආදායමට සාපේක්ෂව ආයුර්වේද ක්ෂේත්‍රයේ රෝහල්වල ගෙවන වාට්ටු ඉහළ ආදායම් උපයා තිබෙන බවත්, මෙම ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය සමග දියුණු කිරිමට බලාපොරොත්තු වෙනවා නම් ඔසු උයන් රෝහල් පද්ධතිය මේ වෙනුවෙන් විවෘත කරන ලෙස තමන් යෝජනා කරන බවත්, සිද්ධ ආයුර්වේද, යුනානි වෛද්‍ය ක්‍රමවේද හරහා මුදල් ඉපයීමට හැකි පරිදි නවීකරණය කළ යුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහයෝගය රජය ලබාදෙන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද සහායක කාර්ය මණ්ඩල ප්‍රශ්ණයට වැඩිකල් නොයවා විසදුම් ලබාදිය හැකි වනු ඇති බව ද වැඩිදුරටත් පැවැසී ය.