සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්

සූර්ය බල ව්‍යාපෘති වෙනුවෙන් එන ආයෝජකයින් හැරී යාමේ අවදානමක්

June 27, 2025   08:14 pm

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.

අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත් ආයෝජකයින්ගේ විහ්වාසය බිඳ දැමීමටත් සහ මෙරට පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත් තර්ජනය කිරීමක් බවය.

එම සම්මේලනය පෙන්වා දෙනුයේ බලධාරීන්ගේ මෑත කාලීන ක්‍රියා මගින් පුනර්ජනීය බලශක්ති සංවර්ධනයේ වසර ගනනාවක් පුරා ලබා ගත් ප්‍රගතිය කඩාකප්පල් කිරීමටත් සිය කර්මාන්තය දැඩි ආර්ථික හා සාමාජීය ප්‍රතිවිපාක සහිත අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීමට තැත් කරන බවය.

එමෙන්ම විදුලිය මිලදී ගැනීමේදී මිල දැඩි ලෙස අඩු කිරීම කර්මාන්තයේ ස්ථාවරත්වයට හානි කරන බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත මිලදී ගැනීම් ගාස්තු හඳුන්වා දුන් මෑත කාලීක කැබිනට් පත්‍රිකාව මගින් ඉදිරි කාලයේදී රැකියා අහිමි වීම් සහ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම් ඇති කරනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

තවද මිලදී ගැනීමේ ගාස්තු දැඩි ලෙස අඩු කිරීම මගින් ආයෝජන සඳහා සෘජු බලපෑමක් එල්ල කරනු ඇති බවත් ව්‍යාපෘතිවල ශක්‍යතාව මෙම ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා නිරන්තර තර්ජනයකට ලක්වන බැවින් දේශීය හා විදේශීය ආයෝජකයින් මෙම අංශයේ ආයෝජනය කිරීම ඉදිරි කාලයේදී මැලිකමක් දක්වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එය සූර්ය විදුලි බල කර්මාන්තය ආපසු හැරවිය නොහැකි පරිහානියකට පත් කරනු ඇති බවය.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය නියමිත වේලාවට බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික විදුලිබල පද්ධතියට හඳුන්වාදීමට නොහැකි වීම හේතුවෙන් සූර්ය විදුලි බල අංශයේ සෘණාත්මක වර්ධනයක් නොදැනුවත්වම ඇති කර ඇති බවට සිය සංගමයේ මතය වනු ඇති බවත් පෙන්වා දෙන එම සංගමය වැඩිදුරටත් පැවසුවේ මාස 6කට වැඩි කාලයක් පුරාවට සිය සම්මේලනය විසින් විවිධ සංසදවලදී අවම වශයෙන් මෙගා වොට් පැය 1000ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ධාරිතාවක් කඩිනමින් ජාතික පද්ධතිවය වෙත ඒකාබද්ධ කරන ලෙසද නිරන්තරයෙන් ඉල්ලීම් කළ බවත් සඳහන් කර තිබේ.

එමගින්  උදෑසන 10 සිට පස්වරු 2 දක්වා කාලය තුළ උපරිම සූර්ය උත්පාදනය ගබඩා කිරීමටත්, සන්ධ්‍යා කාලයේ ඉහළ ඉල්ලුම් පැය තුළදී ඒවා භාවිතා කිරීමටත්, එමගින් ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති උපයෝගීතාව උපරිම කිරීමටත් හැකි වනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

කෙසේ අඛණ්ඩ ඉල්ලීම්, ලංවිම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ  අවධානයට ලක් නොවූ බවත් පෙන්වා දෙන පුනර්ජනනීය බලශත්කි සංවර්ධකයින්ගේ සම්මේලනය සඳහන් කළේ බැටරි බලශක්ති ගබඩා පද්ධති සඳහා මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ මෙම  සතියේ  නිවේදනයක් නිකුත් කර ඇතත්, පැහැදිලි මෙහෙයුම් මාර්ගෝපදේශ නොමැතිකම හේතුවෙන් එය කර්මාන්තය තුළ තවදුරටත් ව්‍යාකූලත්වයක් පමණක් ඇති කර ඇති බවය.