මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීට නින්ද ගිහින් වෙච්ච බිහිසුණු අනතුර

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීට නින්ද ගිහින් වෙච්ච බිහිසුණු අනතුර

June 27, 2025   05:06 pm

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා පැදවු මෝටර් රථය හෙනගම නගරයේ දී අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඒ මහතාව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර ඊයේ (26) රාත්‍රී 11.30ට පමණ සිදුව තිබුණි.

කෙසේවෙතත් අනතුරින් පසුව හෙම්මාතගම නගරයට මෙන්ම අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර, විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ මාර්ගයට වැටී තිබූ විදුලි රැහැන් ආරක්ෂිතව ඉවත් කර විදුලිය ලබාදී තිබේ.

අනතුරින් නන්ද බණ්ඩාර මහතාගේ ජීවිතය බේරී ඇත්තේ එයාර් බෑග්එක විවෘත වීමෙන් බව අප වාර්තාකරු පැවසුවේය.

රෝහල්ගත වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා අනතුර සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

"දින හතරක් පමණ එක දිගට පක්ෂයේ සහ ජනතාවගේ විවිධ කටයුතු වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට සිදුවුණා. මාගේ පක්ෂ කාර්යාලය අරණායක තියෙන්නේ. සාමාන්‍යයෙන් එහි වැඩ ඉවර කරලා මම නිවසට එනකොට මධ්‍යම රාත්‍රීය වෙනවා. රියදුරා අරණායක ප්‍රදේශයේ කෙනෙක් නිසා මම ඔහු එක්කරගෙන එන්නේ නැහැ. කිලෝමිටර් 8ක පමණ දුර හැමදාම පදවාගෙන නිවසට එන්නේ මම තනිවම.

මේ අනතුර වුණේ නින්ද ගිහින්. හැප්පෙනකොට තමයි දන්නේ අනතුරක් වුණා කියලා. නමුත් ඒ වන විට මම පැමිණියේ ඊට වඩා අපහසු මාර්ගයක. නිවස පෙනිපෙනී තමයි මේ අනතුර සිදුවුණේ.

පොලීසියත් ආවා විදුලි බලමණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් ආවා. හානි වූ විදුලි කණුවට ගෙවන්න ඇස්තමේන්තු සකස් කරලා දෙන්න කිව්වා. එතෙන ගැටලුවක් නැති නිසා වාහනය පටවාගෙන ගරාජ් එකට අරන් ගියා."