දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

June 25, 2025   02:49 pm

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට මෙම කමිටුව පත් කෙරුණි.

මෙහිදී වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම දැනුම්දී ඇත්තේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවය. 

මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත්, ඔවුන්ව මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව මෙහිදී නිර්දේශ කර ඇත.  

මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කළේය.  

රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය පෙර එකඟ වූ පරිදි, ජුලි 01 දින පෙ.ව. 9.30ට රැස්වී මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරුණි.

ඉන් අනතුරුව දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ජුලි 8 වනදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූ බව අදාළ නිවේදනයයේ දැක්වෙයි. 

IGP Committee of Inquiry 2025.06.25 Sinhala by poornima on Scribd