සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සමට දින දෙයි
June 25, 2025 02:10 pm
සූර්ය විදුලිබල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාදීකරණය අද (25) නියෝග කළේය.
සූර්ය විදුලිබල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා මෙම නියෝගය නිකුත්කර ඇත.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වහල මත සවිකර තිබෙන සූර්යබල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම ලෙකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු ඉකුත් ජූලි මස 01 වනදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවය.
විදුලිබල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, එහෙත් මෙම අඩු කිරීම සඳහා එම කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවට චෝදනා කරයි.
එමෙන්ම අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම්දීමක් කර තිබුණත් එය ක්‍රියාත්මක වී නොමැති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙලෙස ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරවෝ අභියාචනාදීකරණයෙන් අයැද සිටියි.
එමෙන්ම මෙම පෙත්සම අසා නිම වනතුරු අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියි.