ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය හෙට කොළඹ දී ඇරඹෙයි

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය හෙට කොළඹ දී ඇරඹෙයි

June 24, 2025   06:46 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.

හෙට තරගය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිලාන් රත්නායක ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එම 18 දෙනා අතරට එක් කර නොමැත.

අද (24) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ හෙට තරගය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ඇති බවත් වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් තරග වැදීමට සැලසුම් කර ඇති බවත්ය. 

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවසුවේ නවක ක්‍රීඩක සොනාල් දිනූෂට හෙට දිනයේ දී බොහෝ දුරට ටෙස්ට් වරම් හිමිවීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ 18 දෙනෙකුගෙන් යුත් මුල් සංචිතය පහතින් දැක්වේ. 

ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ හෙට (25) ඇරඹෙන බංග්ලාදේශ - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය, ප්‍රේක්ෂකයින් සඳහා නොමිලේ නැරඹීමට විවෘත බවයි.