සරණ ගුණවර්ධනගේ නඩුවක් කල් යයි

සරණ ගුණවර්ධනගේ නඩුවක් කල් යයි

June 24, 2025   05:50 pm

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනමක් මත ලබා ගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවස්ථාවේ විභාගයට ගෙන තිබෙන නිසා එම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ නඩුව සුදුසු අධිකරණයක් වෙත යොමු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට යොමු කරනු ලැබීය.

ඒ අනුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට යොමු කළ අතර එහිදී සුජීව නිශ්ශංක විනිසුරුවරයා සඳහන් කළේ තමන් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර විභාග කර ඇති නිසා එය වෙනත් අධිකරණයකට යොමු කරන ලෙසය. 

ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා හමුවට යොමු කෙරුණු අතර එම විනිසුරුවරයා ඉදිරියේ අදාළ නඩුව අගෝස්තු මස 20 වනදා යළි කැඳවීමට නියමිතය.