බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
June 24, 2025 04:34 pm
බෝරා සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව 2025.06.25 වනදා සහ 2025.06.27 සිට 2025.07.05 දක්වා පැවැත්වෙයි.
ඒ සඳහා පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඉහත දිනවල උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.
එමෙන්ම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා උදෑසන 07:00 සිට උදෑසන 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙයි.
පොලීසිය දැනුම්දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවය.
පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබය බවය.
බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරේ.