එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය සහ කථානායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය සහ කථානායක අතර හමුවක්

June 24, 2025   10:46 am

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. 

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.

මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාවද  කථානායකතුමන් වෙත පිළිගන්වන ලදී.

"කෘතීම බුද්ධිමය යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබේ.

රටක් සංවර්ධනය කිරීමට, එරට ආර්ථිකය සහ සමාජය හැඩගැස්වීම වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බළ මුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණ වන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසහටනේ නියෝජිත අසූසා කුබෝටා මිය විසින් සදහන් කරන ලදී. 

පාර්ලිමේන්තු සංවර්ධන සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයින පුරා සිදු කිරීම පිළිබඳවත් මෙම අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අල්ලස් හා දූෂණ ‍චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදි පැවත්වීමට අපේක්ෂා කරන බව අසූසා කුබෝටා මිය කථානායකතුමන් වෙත ප්‍රකාශ කළාය. 

ඒ අනුව වත්මන් නව දේශපාලන පරිවර්තනයත් සමග අල්ලස හා දූෂණයට විරුද්ධව ක්‍රියා මාර්ග රැසක් ගනිමින් සිටින බවත් කථානායකතුමා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සඳහා පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු පර්යේෂණ ආයතනයක් පාර්ලිමේන්තුව මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙම අවස්ථාවේදී සඳහන් කළේය.