ගම්පොළ නගර සභාවේ සහ බෙන්තොට ප්‍රාස බලය සජබයට
June 24, 2025 12:28 pm
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට බහුතරය හිමිනොවූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම අදත් සිදුකෙරුණි.
දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය තහවුරු කර ගත්තේය.
සභිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සභාවේ සභාපති ධුරය සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ප්‍රේමකුමාර විජේවර්ධන මහතා ඡන්ද 12ක් ලබාගත් අතර, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මර්වින් ප්‍රදීප කොඩිතුවක්කු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණය.
මේ අතර, සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති ගම්පොළ නගර සභාවේ බලයද සමගි ජන බලවේගයට හිමිවුණි.
එහිදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ඡන්ද10ක් හිමිවූ අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඉරුක වීරරත්න මහතා ඡන්ද 19ක් ලබාගනිමින් සභාපති ධුරයට තේරී පත්වුණි.
මේ අතර, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අයි.මුබාරක් මහතාට අද හිමිවුණේ ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය ඔහුට හිමිවීමත් සමගය.
ඒ සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ඔහු සමග තරග වැදුණු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අබ්දුල් රිසාන් මහතායි.
මේ අතර, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව අද (24) පෙරවරු 9.30ට රැස්වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණි.
ඒ, සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක්ද නැතහොත් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය සහ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ සභිකයින් අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙනි.
එහිදී සභාව මිනිත්තු 10කට කල්තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තේය.
පසුව සභාව යළි රැස්වුණත් එහි අඛණ්ඩව හටගත් මතගැටුම් හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් තැබීමට පියවර ගැනුණි.