ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිව්දෙනෙක් මරුට
June 24, 2025 11:34 am
ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (24) අලුයම ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී තවත් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
සුන්බුන් අතර සිරවී ඇති පිරිස සොයා මේ වනවිට හදිසි සෝදිසි කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඊශ්‍රායල බලධාරීන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් එලෙස අදහස් ප්‍රකාශ නොකර සිටින්නේ ඊශ්‍රායලයට අදාළ ප්‍රහාරය දැඩි බලපෑමක් එල්ල කළ නිසා යැයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ සටන් විරාමය දෙරට අතර ක්‍රියාත්මක බව ද වාර්තා වේ. එහෙත් ඉරානයේ ඇතැම් මාධ්‍ය පමණක් සටන් විරාමය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ සටන් විරාමය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවය.
මේ අතර ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් වසා දමා තිබූ ඊශ්‍රායල ගුවන් කලාපය හදිසි ගුවන් ගමන් සඳහා යළි විවෘත කර තිබේ.