වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නියෝගයක්

වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නියෝගයක්

June 23, 2025   01:54 pm

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

එහිදී  අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව, වගඋත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ  වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.