ඊජිප්තුව හරහා එන ලාංකිකයින්ට ඊශ්‍රායලයේ වලංගු වීසා අනිවාර්යය කෙරේ
June 21, 2025 12:18 pm
පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සතුව ඊශ්‍රායලයේ වලංගු වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්යය බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.
ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන්තොටුපල වසා තැබීම හේතුවෙන් එරටින් පිටවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් අදාළ ලියකියවිලි ලබාගැනීමෙන් පසු ඊජීප්තු දේශ සීමාව හරහා පැමිණිය හැකි බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය මීට පෙර දැනුම්දීමක් සිදුකරන තිබිණි.
කෙසේවෙතත් ඊයේ දිනයේ ඊජිප්තුව දේශසීමා පිවිසුම හරහා ගමන් කර එරට කයිරෝ ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාව බලා යෑමට පිටත්වූ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අතර සිටි ඊශ්‍රායලයේ විසා නොමැති ශ්‍රී ලාංකිකයෙකු ඊජීප්තු බලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත.
පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඒ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකිවූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
හදිසි තත්ත්වයක් මත වුව ද ඊශ්‍රායලයේ වලංගු විසා බලපත්‍ර නොමැති හෝ කල් ඉකුත්වූ වීසා බලපත්‍රවලින් විදේශිකයින්ට ඊජිප්තුවට ඇතුළු වීමට නොහැකි වන අතර එලෙස ගමන් කිරීමට උත්සහ කළහොත් දීර්ඝ ප්‍රශ්න කිරිමකට ලක්වීමට මෙන්ම ඇතැම්විට අත්අඩංගුවට පත්වීමට පවා සිදුවිය හැකි බව ඊශ්‍රායල තානාපතිවරයා පෙන්වාදෙයි.
ඒ අනුව ඊශ්‍රායලයේ වීසා නොමැති හෝ වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙන අතර ඊශ්‍රායලයේ වලංගු විසා නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා පිටත්වයාමට ටෙල්-අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වනතුරු සිටිය යුතු බව තානාපතිවරයා සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ ද ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාමට තවත් ශ්‍රීලාංකිකයින් දෙදෙනෙකු තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබාගත් බව තානාපතිවරයා පවසයි.
ඊයේ රාත්‍රියේ හා අද අලුයම් කාලයේ ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කරගමින් ඉරානය විසින් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම තත්ත්වය තුළ ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් විමසිලිමත්ව හා එරට රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව තානාපතිවරයා දැනුම් ඇත.
මේ අතර ඊයේ දිනයේ ඊශ්‍රායලය විසින් ද ඉරානය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානයේ හඳුනාගත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීම ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කර තිබේ.
පසුගිය 13 වනදා සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 657ක් වන බව මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත.
මීට අමතරව ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 2000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.
ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ලකල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් 1300ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.