TNL නාලිකාවට වසර 32යි

TNL නාලිකාවට වසර 32යි

June 21, 2025   09:36 am

මෙරට පළමු පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනය ලෙසින් සැලකෙන TNL නාලිකාව ආරම්භ කර අදට (21) වසර 32ක් සම්පූර්ණ වේ.

1993 ජුනි 21වනදා ආරම්භ කළ TNL නාලිකාවේ නිර්මාතෘවරයා වන්නේ ශාන් වික්‍රමසිංහ මහතාය.

1979 වසරේ දී ස්වාධීන රූපවාහිනිය රටට දායාද කළ ඔහු, එය රජයට පවරා ගැනීමෙන් වසර කිහිපයකට පසු TNL නාලිකාව ජනගත කළේය.

සිංහල හා ඉංග්‍රීසි බසින් පෞද්ගලික නාලිකාවක පළමුවරට පුවත් විකාශය කිරීමේ ගෞරවය හිමි TNL නාලිකාව, 1995 දේශපාලන සාකච්ඡාවලටද මුල පුරමින් ඇරඹූ 'ජනහඩ' එදා මෙදා තුර ප්‍රේක්ෂක අවධානය දිනාගත් වැඩසටහනකි.

ප්‍රහසනය තුළින් දේශපාලන යථාර්ථය 'ඕල්වේස් බ්රේක් ඩවුන්' හරහා මෙරට සමාජයට මුදාහළ TNL නාලිකාව, සංගීතමය වැඩසටහන් ද නිෂ්පාදනය කරමින් රසික විනෝදාස්වාදයට මෙන්ම කළාකරුවන්ටද අත්වැළක් සැපයීය.

1998 දී ඉසිර ගුවන්විදුලිය ආරම්භ කිරීමෙන් සමගාමී සේවා හරහා ජනතාවට තොරතුරු හා විනෝදාස්වාදය ලබාදිමේ කාර්යය පුළුල් කරන ලදී. 

අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම යහපත් සමාජයක් උදෙසා ආගමික වැඩසටහන් පෙළක් ආරම්භ කිරීමට සභාපති ශාන් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

'නැණ පහන', 'අමා දහර', 'ධර්ම විනිශ්චය','ධර්ම ප්‍රදීප සදහම් චාරිකා' යන වැඩසටහන් ඒ අතරින් ප්‍රධාන විය.

තවද 'ද බුඩිස්ට්' හා 'දිදුල' නාලිකා ප්‍රේක්ෂකයාට වඩා සමීප වුයේ TNL නාලිකාව ඔස්සේ ය.

'වෛද්‍ය හමුව' මෙන්ම 'රිද්ම රාත්‍රීය', 'පැදුරු පාටිය'  අදටත් ප්‍රේක්ෂක මතකයේ තිබේ. 

'රසානන්දය' වැනි ආනන්දනීය වැඩසටහන් මෙන්ම 'නොපෙනෙන ලෝකය' වැනි ගුප්ත විද්‍යාත්මක වැඩසටහන්, 'ඉසිවර ඉසව්ව' වැනි ජෝතිශ්‍යය වැඩසටහන් ද ඉහළ ජනප්‍රියත්වයක් ලද TNL නිෂ්පාදනයන්ය. 

'සිහින නෙළුම් මල්' ළමා වැඩසටහන් මාලාව මෙන්ම, කාත්තා වැඩසටහන් ගණනාවක් තිරය මතට ගෙනා, එම නාලිකාව සූප ශාස්ත්‍රයට ද අවකාශ උදා කර දුන්නේය.