සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් යයි
June 17, 2025 11:12 am
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එහිදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි.
ඒ අනුව යෝජනා දෙකක් ඉදිරිපත්වී ඇති බැවින් සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක්ද වශයෙන් තීරණය කිරීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින් මෙය රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරිය පවසා තිබේ.
එම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.
කෙසේ වෙතත් පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.
ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම අද සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදුවිය.