ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
June 14, 2025 05:15 pm
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.
ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානුවන්ගේ 'ක්‍රිකට් ලෝක කුසලාන සාපය' නිමාකිරීමට බවුමාගේ නායකත්වයට හැකිවිය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 282ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාව සමත් විය.
තරගයේ 4වන දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 213ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 69ක් පසුපසින් සිටියේය.
මෙහිදී ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුවට පහරදුන් ඒඩියන් මාක්රම්, දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වෙමින් පන්දු 207කදී ලකුණු 136ක් රැස්කරගෙන සිටියදී ජය පෙනෙන මානයේ දැවී ගියේය.
ඔහු ටෙම්බා බවුමා සමගින් තෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 147ක වටිනා සබඳතාව දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ බවුමා ලකුණු 66ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 212ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි.
කෙසේ නමුත් ලකුණු 74ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු 207ක් තුළ දැවී ගියේය.
ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය සම්පූර්ණ කළ ඔවුන් තරග අවසානයට දින එකහමාරක් පමණ ඉතිරිව තිබියදී ලෝක ටෙස්ට් ශූරතාවේ පහස ලැබීය.
මෙම ජයත් සමග ශූරයන් සඳහා පිරිනමන අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) ත්‍යාග මුදලට හිමිකම් කීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.
වසර 136ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇති ලොව තෙවන පැරණිම ක්‍රිකට් කණ්ඩායම වන දකුණු අප්‍රිකාව, සිය ක්‍රිකට් ඉතිහාසයේ කුමන හෝ ආකෘතියකින් ලෝක කුසලානයක් දිනාගත් පළමු හා එකම අවස්ථාව ලෙසින් අද වාර්තා පොත් අතරට එක්විය.
ඔවුන් 1998 වසරේ පැවති පළමු ශූරයන්ගේ කුසලානයේ ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර, එය එතැන් සිට මේ දක්වා වසර 27ක කාලය ලබා තිබූ එකම ICC ශූරතාවද විය.
ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ ද ඔවුන් අවස්ථා 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබෙන කණ්ඩායමකි.
ලෝක කුසලානය පෙනෙන මානය දක්වා පැමිණ අවසන් මොහොතේ අවාසනාවන්ත ලෙස ඉවතට විසිවන කණ්ඩායමක් ලෙස ප්‍රකට දකුණු අප්‍රිකාව, අවසන්වරට 2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයේද අවසන් මහා තරගයේදී පරාජයට පත්විය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේද අවස්ථා 2කදී ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඇත.
දකුණු අප්‍රිකාව එක්දින ලෝක කුසලාන 5කදීම අවසන් පූර්ව වටය දක්වා පැමිණ, අවසන් මහා තරගය අහිමි වූ අවාසනාවන්ත කණ්ඩායමකි.
ඒ අනුව දකුණු අප්‍රිකාව අද මෙම ලෝක කුසලානය දිනාගන්නා තෙක් සමස්තයක් ලෙස ක්‍රිකට් ආකෘති ත්‍රිත්වයේම ලෝක කුසලාන අවසන් මහා තරගයක්, අවසන් පූර්ව තරග 12ක් හා අර්ධ අවසන් පූර්ව තරග 2ක් ක්‍රීඩාකර තිබුණි.