කුලී පදනම මත වාහන ගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ ජාවාරමක්

කුලී පදනම මත වාහන ගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ ජාවාරමක්

June 14, 2025   09:48 pm

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කඩවත මහර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටීයදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

30 සහ 36 හැවිරිදි සැකකරුවන් මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 650ක්, ව්‍යාජ ලෙස සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක්, ජාතික හැදුනුම්පතක්, ආදායම් බලපත්‍රයක්, මෑතකදී ලියාපදිංචි කළ වාහන අංක තහඩු දෙකක් සහ ජංගම දුරකතන 05ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් විසින් කුලී පදනම මත වාහන ලබාදෙන බවට  දැන්වීම් පළ කර ඇති ස්ථානවල දුරකතන ඇමතුම් ලබා දී එම වාහන  මසකට හෝ සති කිහිපයකට අත්තිකාරම්  මුදල් ගෙවා කුලී පදනම මත ලබාගෙන ව්‍යාජ ලෙස ලියාපදිංචි පොත් සහ අනෙකුත් ලේඛන සකස් කර ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් වී ඇති අයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.