දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

June 13, 2025   06:33 pm

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි.

මීට සුළු මොහොතකට පෙර අවසන් වූ එම තරගයේ දී තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙසින් ජයග්‍රහණය ලැබීමට ප්‍රබල දකුණු කොරියානුවන් සමත්විය.

තරගයේ මුල් මිනිත්තු 59 පුරාවටම ලකුණු 29 - 26 ක් ලෙසින් ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටීමට සමත් වුවද 60 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියානුවන් විසින් ලබාගත් උත්සාහක දිනුම සමගින් තරගයේ පාලනය එතැන් සිට ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකාව මීළගට හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරග වැදීමට නියමිතය. එහිදී ජුනි 22 වැනිදා හොංකොං කණ්ඩායමට එරෙහිව සහ ජූලි 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලෙසින් ශ්‍රී ලංකාවේ සෙසු තරග පැවැත්වේ. 

2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේ ශූරයන් බවට පත්විය යුතු අතර අද ලැබූ පරාජයත් සමඟින් එම බලාපොරොත්තුව තරමක් ශ්‍රී ලංකාවෙන් දුරස් වනු ඇත.