දකුණු අප්‍රිකානුවෝ ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

දකුණු අප්‍රිකානුවෝ ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස

June 14, 2025   02:31 pm

ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගයේ සිව්වන දිනය අදයි. කාලගුණයෙන් බාධාවක් නොවුණහොත් නිසැක වශයෙන් අද (14) මෙම තරගයේ අවසාන දිනය වනු ඇත.

තරගයේ සිව්වන ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකානුවන්හට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට ඇත්තේ තවත් ලකුණු 69 ක් පමණි. ඒ වෙනුවෙන් ඔවුන් සිටින්නේ කඩුළු 8 ක් අතැතිව ප්‍රබල ස්ථානයකය.

එංගලන්තයේ ලන්ඩන් නුවර ක්‍රිකට් ක්‍රීඩාවේ මහාදෙවොල ලෙසින් හැඳින්වෙන එ‌ෙතිහාසික ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන මෙම ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගයේ මුල් දින දෙක තුළ දී, වේග පන්දු යවන්නන් හට බෙහෙවින් වාසිදායක තණතීරුවක් ලබාදුන්නා යැයි කිවහොත් නිවැරදිය.

මුලින්ම පන්දුවට පහර දුන් ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉනිම, පළමු දිනය තුළම ලකුණු 212කට සීමා කරලන්නට ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් එහිදී සමත්විය. කගිසෝ රබාඩා කඩුළු 5ක් සහ මාකෝ ජැන්සෙන් කඩුළු 3 ක් සහ දඟ පන්දු යවන්නන් වන කේෂව් මහරාජ් සහ ඒඩන් මාක්රම් කඩුළු 1 බැගින් වන පරිදි ලබා ගන්නට සමත්වූ අතර ඔස්ට්‍රේලියා පිල වෙනුවෙන් බෝ වෙබ්ස්ටර් ලකුණු 72ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 66 ක් ලබා ගන්නට සමත්විය.

කෙසේවෙතත් තමන් අඩු ලකුණු ගණනකට සීමා කිරීමේ වාසිය කිසිසේත් දකුණු අප්‍රිකානුවන් වෙත ලබා දීමට නායක පැට් කමින්ස් ප්‍රමුඛ ප්‍රබල ඔස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය ඉඩක් නොදුන්නේ දකුණු අප්‍රිකානුවන්ගේ පළමු ඉනිම ලකුණු 138කට සීමාකරමිනි.

එහිදී පැට් කමින්ස් කඩුළු 6ක්, මිචෙල් ස්ටාර්ක් කඩුළු 2ක් සහ ජොෂ් හේසල්වුඩ් කඩුළු 1 ක් බැගින් ලබා ගැනීමට සමත්විය.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියානුවන් හට එවර ලබා ගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. පසුපෙළ පිතිකරුවකු වූ මිචෙල් ස්ටාර්ක් නොදැවී ලබා ගත් ලකුණු 58 නොවන්නට ඔස්ට්‍රේලියානුවන්ගේ දෙවැනි ඉනිම මීට වඩා බෙහෙවින් ඛේදජනක වන්නට ඉඩ තිබුණි. නැවත වරක් ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණිය වෙනුවෙන් කගිසෝ රබාඩා කඩුළු 4 ක් සහ ලුන්ඩි ගිඩි කඩුළු 3ක් දවාගැනීමට එහිදී සමත්විය.

ඒ අනුව ICC ටෙස්ට් ලෝක ශූරතාවය තමන් සතුකර ගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් වෙත ලැබුණු ඉලක්කය ලකුණු 282කි.

පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුල්ල ලකුණු 9ක් වන විට දැවී යන තෙක්ම, එතෙක් වේග පන්දු යවන්නට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරදීමට සමත්ව තිබූ එ‌ෙතිහාසික ලෝඩ්ස් තණතීරුවේ ග්‍රහණය තමන් යටතට ගැනීමට ඒඩන් මාක්රම් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් වූය‌ේ ඔස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු ක්‍රමයෙන් බොඳකරමිනි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේ තරගය නතර කරන විට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඒඩන් මාක්රම් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබුණේ නොදැවී ලකුණු 102 ක් ලබා ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක ටෙම්බ බවුමා නොදැවී ලකුණු 65 ක් ලබාගෙන සිටියේය.

දිනය නිමා වන විට දකුණු අප්‍රිකානුවන් කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 213 ක් ලබා සිටි අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ලබා ගත යුතුව ඇත්තේ තවත් ලකුණු 69 ක් පමණි.