සයුරෙන් එතෙර
ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි
June 13, 2025 10:06 am
ඉන්දියාවේ අහමදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ලබාදීමට තීරණය කළ බව ගුවන් සේවයේ හිමිකාරීත්වය දරණ ටාටා සමූහය පවසයි.
ගුවන් අනතුර සම්බන්ධයෙන් X සටහනක් තබමින් එහි සභාපති එන්.චන්ද්‍රසේකරන් මහතා මේ බව සඳහන් කර ඇත.
ඊයේ (12) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලුදෙනා ජීවිතක්ෂයට පත්වුණි.
එයාර් ඉන්දියා ගුවන් සේවාවට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් ඊයේ අහමදාබාද් ගුවන්තොටුපොලේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනකු සමඟිනි.
යානය බ්‍රිතාන්‍යයේ වේලාවෙන් පස්වරු 6.25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබුණි.
කාර්යමණ්ඩලයේ 12 දෙනාට අමතරව එහි මගීන් 230 දෙනකු සිටි අතර බිලිඳුන් දෙදෙනකුද ඒ අතර විය.
ගුජරාට් හි සර්දාර් වල්ලාබ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැත.
පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ අහසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කරගනිමින් යානය කඩාවැටුණි.
යානය කඩාවැටී තිබුණේ අහ්මදාබාද් ආසන්න මෙඝානි නගර් හි පිහිටි BJ වෛද්‍ය විද්‍යාලීය සිසු නේවාසිකාගාරයක් මතටය.
ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේ අසීරුතාවක් පෙන්නුම් කර තිබූ බවත් එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක් ද නිකුත් කර තිබූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
අනතුරින් දිවි බේරා ගත්තේ එක් මගියෙකු පමණි.
ඔහු යානයේ 11A අසුනේ රැඳී සිටි මගියා වන අතර යානයේ හදිසි පිටවීම් දොර වෙත ඉක්මනින් ළඟාවීමට එම අසුන පිහිටා තිබූ ස්ථානය ඔහුට උපකාර වී ඇති බව සඳහන් ය.