ඉරානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව ට්‍රම්ප් කියයි

ඉරානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව ට්‍රම්ප් කියයි

June 13, 2025   08:05 pm

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

CNN පුවත් සේවයට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඊශ්‍රායලයට සහාය දෙන බවය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධව අමෙරිකාව සමග ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස තමන් ඉරානයට දැනුම් දුන් නමුත් ඔවුන් ඒ සඳහා අවධානය යොමු කළ යුතුව තිබුණු බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ නමුත් ප්‍රමාද වීමට පෙර ඉරානය දැන් එකඟතාවට පැමිණිය යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදි පවසා තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් මින් පෙර සඳහන් කර තිබුණේ ඉරානයට සිය න්‍යෂ්ටික ගිවිසුමට එළැඹීමට දෙවන අවස්ථාවක් ඇති බවය.

"මාස දෙකකට පෙර මම ඉරානයට 'ගිවිසුමක් ඇති කර ගැනීමට' දින 60 ක අවසාන නිවේදනයක් දුන්නා. ඔවුන් එය කළ යුතුව තිබුණා! අද 61 වන දිනයයි. මම ඔවුන්ට කළ යුතු දේ කිව්වා, නමුත් ඔවුන්ට එතැනට යන්න බැරි වුණා. දැන් ඔවුන්ට සමහර විට දෙවන අවස්ථාවක් තියෙනවා!" අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහන් කර තිබුණි.

ඉරානයේ බහු න්‍යෂ්ටික මධ්‍යස්ථාන රැසක් තිබූ නමුත් ඊශ්‍රායලය ඉලක්ක කර ඇත්තේ ඉරානයේ නටාන්ස් ඇතුළු කුඩා සංඛ්‍යාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට හේතුව වී ඇත්තේ නටාන්ස් යනු මහා පරිමාණ යුරේනියම් පොහොසත් කිරීම සඳහා ප්‍රධාන ස්ථානය වන බවත් මෙය සිවිල් හෝ මිලිටරි න්‍යෂ්ටික භාවිතය සඳහා විවිධ නිෂ්පාදන සිදු කිරීම් සිදුකරන ස්ථානයකි.

2015 වසරේදී න්‍යෂ්ටික ගිවිසුම මගින් ඉරානයට නටාන්ස් හිදී සිදු කිරීමට අවසර දී ඇති දේ සීමා කරන ලද නමුත් 2018දී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම ගිවිසුමෙන් ඉවත් වූ දා සිට ඉරානය එහි ක්‍රියාකාරකම් වේගවත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඊශ්‍රායලය විසින් නටාන්ස් න්‍යෂ්ටික භුමියට එල්ල කරන ලද ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුවූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් පවසා තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඩෙෆ්රීන් පවසා ඇත්තේ "මෙම පහසුකම විප්ලවවාදී ආරක්ෂකයින්ට ඔවුන්ගේ මිලිටරි න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන යාමට සේවය කළා, ඉරාන පාලන තන්ත්‍රයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ මෙම පහසුකමෙන් න්‍යෂ්ටික අවි ලබා ගැනීමට උත්සාහ කළා" යනුවෙනි.

මින් පෙර ඊශ්‍රායලයේ ප්‍රහාරවලට සහාය දක්වන බවට ඉරානය එක්සත් ජනපදයට චෝදනා කළ නමුත් වොෂින්ටනය එය ප්‍රතික්ෂේප කර තිබුණි.