සයුරෙන් එතෙර
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් 4කට ට්‍රම්ප් පරිපාලනයෙන් සම්බාධක
June 7, 2025 11:07 am
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.
ඒ ඔවුන් අමෙරිකානු පුරවැසියන්ට හා ඊශ්‍රායලයට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීම සඳහා සම්බන්ධවී ඇති බවට චෝදනා කරමිනි.
එරට රජයක් මෙම අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගෙන ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.
මෙසේ සම්බාධක පනවා ඇත්තේ එම නඩු කටයුතුවලට සම්බන්ධ වී සිටින උගන්ඩා, පේරු, බෙනින් සහ ස්ලෝවේනියානු ජාතික විනිසුරුවරියන් සිව් දෙනෙකුටය.
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය දේශපාලනීකරණයට ලක්වී ඇති අතර එය අමෙරිකානු පුරවැසියන්ට හා එහි හිතවත් පාර්ශ්වයන්ට පදනම් විරහිතව නඩු පවරා ඇති බවය.
ඒ හේතුවෙන් අදාළ සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය කටයුතු කළ බව ඔහු කියා සිටියේය.
අමෙරිකාව හා එරට සමීප හිතවතෙකු වන ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩු කටයුතු කිහිපයක් ක්‍රියාත්මක වෙයි.
අමෙරිකානු සෙබලුන් ඇෆ්ගනිස්ථානය තුළ සහ ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිදුකර ඇතැයි කියනු ලබන යුද අපරාධ ලබන චෝදනා සම්බන්ධයෙන් මෙම අධිකරණ කටයුතු ක්‍රියාත්මක කෙරෙයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පසුගිය වසරේදී වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය අමෙරිකානු රජය විසින් ගෙන ඇති මෙම පියවර පිළිගෙන නොමැති අතර එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ පහරක් බව සඳහන් කර තිබේ.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළද මෙම නඩු කටයුතුවලට සම්බන්ධ වූ අධිකරණයේ වෙනත් ඉහළ නිලධාරීන්ට සම්බාධක පනවා තිබූ අතර ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති මෙම දැඩි තීරණ හේතුවෙන් අමෙරිකානු රජය සහ අධිකරණය අතර පවතින මත ගැටුම් තවදුරටත් උග්‍ර වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළ කරයි.