ආගමන හා විගමන සහකාර පාලක ඇතුළු සැකකරුවන්ට ඇප 

ආගමන හා විගමන සහකාර පාලක ඇතුළු සැකකරුවන්ට ඇප 

June 6, 2025   11:47 am

විදේශ ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (6) නියම කළේය.

ඒ අනුව සැකකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියම කර ඇත.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඉන් අනතුරුව නඩුව නොවැම්බර් මස 13 වනදා යළි කැඳවීමට නියම විය.

ඇප ලබා ගැනීමෙන් අනතුරුව අනෙකුත් සැකකරුවන් දෙදෙනා මේ මස 13වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් නියෝග කෙරුණි.