අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?
June 6, 2025 08:45 am
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය.
මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (5) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කර සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගත්තේය.
කෙසේ නමුත් සාගරිකා දුම්රිය නවත්වා තිබෙන අතරවාරයේ, තිබූ දෝෂයක් හේතුවෙන් තවත් දුම්රියක් එම මාර්ගයේම මරදානට දෙසට ඉදිරියට පැමිණ තිබුණි.
ඒ සම්බන්ධයෙන් ඊයේ කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැති තත්ත්වයක් මතුව ඇති බවයි.
ඊට කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසඳුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.
ඒ අනුව ගැටලුවට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත් වීමට සිදුවන බව එම සංගමය ඊයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.