සයුරෙන් එතෙර
ඉන්දියාව ජන සංගණනයකට සූදානම් වෙයි
June 5, 2025 09:14 pm
ලොව දැවැන්තම ක්‍රියාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ජන සංගණනය ලබන වසරේ සිදුකිරීමට එරට රජය සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ, වසර ගණනාවක ප්‍රමාදයකින් පසුව බවය.
අදියර දෙකක් යටතේ සිදුකෙරෙන සංගණනය 2027 වසරේ මාර්තු මස 01 වනදා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඉන්දියාව අවසන් වරට ජන සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේදී වන අතර එහිදී එරට සමස්ත ජනගහණය බිලියන 1. 21ක් ලෙස වාර්තා වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයින්ට අනුව මේ වනවිට එරට ජනගහනය බිලියන 1.4ක් වී ඇත්තේ ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට පත්කරමිනි.
ඉන්දීය ජන හා නිවාස සංගණනය දැවැන්ත ක්‍රියාවලියක් වන අතර 2011 වසරේ සිදුකෙරුණු සංගණනය සඳහා මිලියන 2.7ක කාර්යය මණ්ඩලයක් සම්බන්ධ වී තිබුණි.
ජනගහනයට අමතරව වයස, ලිංගිකත්වය, ආගම, භාෂාව, සාක්ෂරතාව, ආර්ථික තත්ත්වය මෙන්ම කුලය යනාදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දත්ත එක්රැස්කිරීම මෙහිදී සිදුවන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.