වැඩවර්ජනය හෙටත් - වැඩට ආ පසු සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති සූදානම්
June 5, 2025 07:16 pm
සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (5) ආරම්භ කළ වැඩවර්ජනය හෙටත් ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.
සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය අද උදෑසන 8ට ආරම්භ කළේය.
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ, අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්වූ බවය.
කෙසේවෙතත් පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල වර්ජනය ක්‍රියාත්මක නොවීය.
එමෙන්ම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කළ බවද වර්ජකයින් පැවසීය.
කෙසේවතත් වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වූහ.
සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් මත වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් පසුගිය 27 වනදාද සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.
ඒ හේතුවෙන් එදිනද රෝගීන් අපහසුතාවයකට පත්වූහ.
එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වර්ජකයන් පියවර ගත්තේ ඒ වනවිට විදේශගතව සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡාවක් ලබාදෙන බවට වූ පොරොන්දුව මතය.
කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ සාකච්ඡාව ලබානොදීමෙන් අද දිනයේ නැවත එක්දින සංකේත වර්ජනයකට අවතීර්ණ වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"මේක තනිකරම දේශපාලන අරමුණ වෙනුවෙන් කරන වැඩක්. හැමදාම මේක සෙල්ලමක් කරගෙන අපේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්න හිතාගෙන වැඩ කරනවා නම්, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් නෑ.
මේක සෙල්ලමක් නෙමෙයි. සතිකයට දෙකකට හැමදාම පැය 24, පැය 48 වර්ජන පටන් අරගෙන. මේකට මූණදෙන්න අපි ලෑස්තියි. කරුණාකරලා වැඩට එන්න. වැඩට ආවට පස්සෙ සාකච්ඡාවට සූදානම්".