හිටපු ඇමති ප්‍රසන්නගේ ඇපෑල ජුනි 16 විභාගයට
June 5, 2025 05:05 pm
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල ජුනි මස 16 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) දින නියම කළේය.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටු කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට, කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම ඇපෑල ඉදිරිපත් කර තිබුණි.
මෙම ඇපෑල මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද දින නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් එම ඇපෑල පිළිබඳ විභාගය ජුනි මස 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ චෝදනා කීපයකට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 2ක සිරදඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබුණි.
ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයාට නියම කළේය.
අදාළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව ඇපෑලක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
එබැවින් එම තීන්දුව බල රහිත කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල තුළින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.