මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක්

June 5, 2025   01:37 pm

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට ළංව ධාවනය වීමේ පුවතක් අද (05) වාර්තා විය.

අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා එම සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී තවත් දුම්රියක් එදෙසටම ධාවනය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවය.

ඒ අනුව කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසදුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ. 

මෙම ගැටලුවට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත්වීමට සිදුවන බවද ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ පානදුර සහ මොරටුව අතර සංඥා දෝෂයක් පිළිබඳව තමාට තොරතුරු වාර්තා වී ඇති බවය. 

ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අදාළ දෝෂය නිවැරදි කරන ලෙස උපදෙස් දුන් බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.