බිලිඳා විකිණීමට තැත් කළ තිදරු මවට සිරදඬුවම්
June 5, 2025 01:27 pm
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණය විසින් අද (5) බරපතළ වැඩසහිත වසර 7ක සිරදඬුවම් නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
සිරදඬුවමට අමතරව රුපියල් 20,000ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවද සඳහන් කළේය.
මෙම විත්තිකාරිය හා ඇයගේ සැමියා විසින් පවත්වාගෙන ගිය නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවක් හට දරුවා ගබ්සාවක් නොකර දරුවා බිහිකර අලෙවි කිරීමට පොළඹවා ගෙන තිබේ.
දරුවා බිහිකිරීමෙන් අනතුරුව විත්තිකාරිය විසින් පොලිස් මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයන්වරියකට දින 2ක් වයසැති දරුවා ඉහත සඳහන් මුදලට විකිණීමට කටයුතු කර තිබෙන බව නඩු විභාගයේදී සඳහන් විය.
ඒ අනුව පොලීසියේ උපාය දූතයෙකු මාර්ගයෙන් මුදල් ලබා දී අදාළ දරුවා මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තිකාරියට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය.
තිදරු මවක් වශයෙන් විත්තිකාරිය විසින් සිදුකර තිබෙන වරද මිනිස් සංහතියම කම්පාවට පත්කරන අමානුෂික ක්‍රියාවක් බවත් විනිසුරුවරයා චෝදනා කළේය.
විත්තිකාරිය සිදුකර තිබෙන්නේ ඉතා බරපතළ මෙන්ම කණගාටුදායක ක්‍රියාවක් බවත් එවැනි වරදවල් ලිහිල්ව සැලකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා, එවැනි වරදවල්වලට ලිහිල් දඬුවම් ලබාදීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.
සමාජයේ සෑම දරුවෙකුටම එක හා සමානව ආරක්ෂාව ලැබිය යුතු බවත්, ඒ අනුව වින්දිත පාර්ශවයට සාධාරණයක් ඉටුවන ආකාරයේ දඬුවමක් ලබා දෙන බවත් ප්‍රකාශ කළ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබීය.