ජීවිත අවදානම ද නොතකමින් විශාල විනාශයක් වැළැක්වූ සමන්ත

ජීවිත අවදානම ද නොතකමින් විශාල විනාශයක් වැළැක්වූ සමන්ත

June 5, 2025   12:31 pm

අද (05) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශවාසියෙකු සමත් විය. 

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුව තිබුණේ මොරටුව, මෝදර ප්‍රදේශයේදීය.

හානි සිදුව තිබූ දුම්රිය පීල්ල දුටු සමන්ත ප්‍රනාන්දු මහතා වාහාම ක්‍රියාත්මක වී එම දුම්රිය පීල්ලේම එම අවස්ථාවේ ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබුණි.

සිය ජීවිත අවදානමද නොතකමින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට සමන්ත ප්‍රනාන්දු මහතාගේ ඉදිරිපත්වීම මහත්සේ අගය කළයුතු කරුණකි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත ප්‍රනාන්දු මහතා,

"පුතාලගේ ගේ ළඟ හිටියේ. ඉන්නකොට මෙතන ඇන්ටි කෙනෙක් බලාගෙන හිටියා. එයා කතා කරලා මට කිව්වා පීල්ල කැඩිලා කියලා. ඊට පස්සේ මම ළඟට ඇවිල්ලා බලනකොට කෝච්චියේ හෝන් එකේ සද්දේ ඇහෙනවා. ටක් ගාලා ගෙදරට දුවලා පුතාලගේ ගෙදරින් දුවගේ තිබුණු ගවුමක්, ඒක අරගෙන ටක් ගාලා රේල් පාර ළඟට ගිහිල්ලා, මැද්දට ගිහිල්ලා ටිකක් වැනුවා කෝචිචියට. ඊට පස්සේ තමයි කෝච්චිය නැවැත්වූවේ. ඊට පස්සේ මහත්තයට කිව්වා මහත්තයා පීල්ලක් කැඩිලා තියෙන්නේ චුට්ටක් බලන්න කියලා. එතකොට බලලා තමයි ඒගොල්ලන්ගේ කට්ටිය ගෙනැල්ල හදන්න සැලැස්සුවේ. "

ඒ අනුව අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමීමට සිදුවූ අතර, දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය.

අනතුරුව දුම්රිය සේවකයින් දුම්රිය මාර්ගය පිළිසකර කර තිබුණි. 

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවය.