IPL සම්මාන රාත්‍රියේ දී කමිඳු මෙන්ඩිස්ටත් සම්මානයක්

IPL සම්මාන රාත්‍රියේ දී කමිඳු මෙන්ඩිස්ටත් සම්මානයක්

June 4, 2025   11:00 am

ඊයේ (03) අහමාදාබාද් නුවර දී පැවති අවසාන මහා තරගයත් සමගින් 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගමාලාව අවසන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට ශූරතාවය අත්කර දෙමිනි.

අවසාන මහා තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද මෙවර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිදුවීමක් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ ‘තරගාවලියේ උඩපන්දුව‘ (Catch of the season) වෙනුවෙනි.

ඔහුට හිමි ත්‍යාගය මෙවර රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලබා ගත්තේය.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර මෙවර මූලික වටයේ පැවති තරගයේ දී කමිඳු මෙන්ඩිස් මෙම ඇදහිය නොහැකි උඩපන්දුව රැක ගැනීමට සමත්විය. එහිදී චෙන්නායි පිලේ Dewald Brevis, මිඩ් ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ පහරක්, ලෝන් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැකගත්තේ සිය වම්පසට දිවයමින් ගුවනේ පාවෙමිනි.

එය IPL ඉතිහාසයේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ඉතිහාසය පුරාවටම අනගිභවනීය උඩපන්දුවක් ලෙසින් වාර්තා පොත් අතරට එක්වනු ඇත.