සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

සෑම සිසුවෙකුටම අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැඳුනුම්පතක්

June 3, 2025   08:21 pm

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට ද නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු  දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා කර ඇත.

2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති  පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම, උසස් කිරීම, ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂ්මව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය මගින් හැකි වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා තිබේ.

ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමට ද මෙහි දී සාකච්ඡා කර ඇත. 

ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබා දෙන බව නිවේදනයේ සඳහන් වේ.