ත්‍රිරෝද රථයෙන් එළියට විසි වූ තුන් හැවිරිදි දරුවා බසයට යට වී මරුට

ත්‍රිරෝද රථයෙන් එළියට විසි වූ තුන් හැවිරිදි දරුවා බසයට යට වී මරුට

May 30, 2025   08:37 pm

පානදුර, රුක්ගහ දෙස සිට ගමන් කළ ත්‍රිරෝද රථයකින් එළියට වීසි වී පානදුර කුරුස හන්දියේ සිට පානදුර රුක්ගහ දෙසට ගමන් කළ බස් රථයකට යට වී අවුරුදු තුනක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (30) දහවල් 1.30ට පමණ මියගිය දරුවාගේ පුංචි අම්මාගේ දියණියගේ කණට කරාබු දැමීම සඳහා මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගමන් කර ඇත.

ත්‍රිරෝද රථයේ මියගිය පිරිමි දරුවා, ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 10 දරුවෙකු ගමන් කර තිබේ.

පානදුර - රුක්ගහ ප්‍රදේශයේ දී බස්රථය මගීන්ට බැස යෑමට නවත්වා ඇති අතර, එහිදී බසයට පිටුපසින් පැමිණි ලොරි රථයක් බස්රථයට ඉස්සර කිරීමට උත්සාහ දරා ඇත.

එම අවස්ථාවේ දී බස්රථයට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය තිරිංග තද කර ඇති අතර, එම අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිටි දරුවා ඉන් විසි වී බස් රථයට යට වී තිබේ.

මෙම අනතුර බස් රථයේ රියදුරු දැක නොමැති අතර, ඔහු බසට ඉදිරියට ධාවනය කර ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනක් වන පානදුර අරුක්ගොඩ, ෆොන්සේකා මාවත ප්‍රදේශයේ පදිංචි නෙතූස තත්සර ප්‍රනාන්දු යන දරුවාය.