අයහපත් කාලගුණයෙන් පවුල් 10,270ක් පීඩාවට
June 1, 2025 07:59 am
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයකද වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බවද ඔහු පැවසීය.
මේ අතර පවතින තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) පියවර ගත්තේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සදහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.
නිකුත් කළ එම නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය.
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ අංශය) කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.
ඔහු පැවසුවේ නිවාස හානිවලට අමතරව ආපදා හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් යම් කිසි ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් ඔවුන්ටද වන්දි ලබා දීමට කටයුතු කරන බවය.
මේ අතර ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පසුගිය පැය 36ක කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් එම පැමිණිලිවලින් රැසක් මේ වන විටත් පිළිසකර කර අවසන් කර ඇති බවය.
තවද අඛණ්ඩව විදුලි බලය ලබා දීම සඳහා කණ්ඩායම් පැය 24 පුරා සේවයේ යෙදී සිටින බවත් එම මණ්ඩලය පැවසීය.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දිනෙන් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවය.