අතිඋත්කර්ෂවත් 2025 IPL අවසාන මහා තරගය හෙට

අතිඋත්කර්ෂවත් 2025 IPL අවසාන මහා තරගය හෙට

June 2, 2025   05:07 pm

ලොව වඩාත් තරගකාරී ලීග් ක්‍රිකට් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගවාරයේ අවසාන මහා තරගය හෙට (03) දින පැවැත්වෙනු ඇත.

මෙවර අවසාන මහා තරගය සඳහා පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ. එක් පිලකට තරග 14 බැගින් වූ IPL මූලික වටය නිමාවේ දී පළමු සහ දෙවන ස්ථාන තහවුරු කරගැනීමට සමත්වූයේ ද පිළිවෙලින් මේ කණ්ඩායම් දෙකයි.

අවසන් සිව්දෙනාගේ වටයේ පළමු තරගය මෙම කණ්ඩායම් දෙක පැවති අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලොර් පිල එහිදී කඩුළු 8ක පහසු ජයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල සෘජුවම අවසන් මහා තරගය සඳහා මෙහිදී සුදුසුකම් ලැබීය. ඒ පංජාබ් කිංග්ස් පිලට අවසන් තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට නම් තවත් තරගයක් ජය ගත යුතු බව පසක් කරමිනි. 

අවසන් සිව්දෙනාගේ වටයේ දෙවන තරගය පැවතියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි. පසුගිය මැයි 30 දා පැවති එම තරගය දැවැන්ත ලකුණු පුවරුවලට හිමිකම් කී තරගයක් වූයේ කණ්ඩායම් දෙකම සිය පන්දුවාර 20 තුළ දී ලකුණු 200 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබුණි හෙයිනි. එම තරගයේ ජය පළමුව පන්දුවට පහර දී කඩුළු 5කට ලකුණු 228ක් ලබා ගත් මුම්බායි ඉන්දියන්ස් පිල සතු විය. ඒ එම ඉලක්කය හඹා ආ ගුජරාට් ඉනිම ලකුණු 208කට සීමා කිරීමට ඔවුන් සමත් වූ බැවිනි.

ඒ අනුව 2025 අවසාන මහා තරගයේ රෝයල් චැලෙන්ජර්ස් පිලේ ප්‍රතිමල්ලවයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් ඊයේ (02) රාත්‍රී තරග වැදුණේ මහ වැසි මැද තරගය පමා වී ආරම්භ වුණු පසුබිමකයි. කෙසේවෙතත් එහිදී පන්දු වාර අඩු නොකර පූර්ණ තරගයක් ලෙසින්ම තරගය පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.

මෙයද ලකුණු පුවරුවේ කණ්ඩායම් දෙකම ලකුණු 200 සීමාව ඉක්මවා සනිටුහන් කරලීමට සමත් වූ තරගයක් විය.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිල සිය පන්දු වාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 203 ක් ලබා ගැනීමට සමත්වූවත් පංජාබ් කිංග්ස් පිල පන්දු වාර 19ක් පමණක් වැයකරමින් එම සීමාව ඉක්මවා ගියේ කඩුළු 5ක් පමණක් දැවී ගොස් තිබිය දීය. දෙවන කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියට පිවිසි පංජාබ් කිංග්ස් පිලේ නායක ශ්‍රීයස් අයියර් සටන්කාමී ඉනිමක නිරත වෙමින් පන්දු 41 කදී නොදැවී වේගවත් ලකුණු 87ක් ලබා ගැනීමට සමත්වීමත් සමඟම ඉතිහාසයේ දෙවන වරට IPL අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්වූයේය.   

ඔවුන් පළමු වරට 2014 වසරේ දී IPL අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල හමුවේ පරාජයට පත් වීමට ඔවුන්ට සිදුවිය.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල 2009, 2011 හා 2016 වසරවල දී IPL අවසාන මහා තරග කරා යාමට සමත්ව තිබුණ ද කිසිදු අවස්ථාවක ශූරතාවය තහවුරු කර ගැනීමට ඔවුන් හට අවස්ථාවක් ලැබී තිබුණේ නැත. පිළිවෙලින් එම වර්ෂවල ඩෙකෑන් චාර්ජස්, චෙන්නායි සුපර් කිංග්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් හමුවේ පරාජයන් භුක්ති විඳීමට ඔවුන්ට සිදුවිය.

ඒ අනුව මෙතෙක් IPL ශුරතාවයක පහස නොවිඳි කණ්ඩායමක් හෙට (03) දින අහමදාබාද් නුවර දී 2025 IPL කුසලානය තමන් සතු කර ගැනීමට නියමිතය.