කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි
May 30, 2025 05:13 pm
කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වුණි.
අප වාර්තාකරුවන් පැවසුවේ, කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා වූ බවය.
මේ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිත රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
මේ අතර ඊයේ (29) පස්වරුවේ සිට බලපවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 245කට අයත් පුද්ගලයින් 1,321 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
ආපදා තත්ත්වයෙන් මොරටුව, පාදුක්ක, කැස්බෑව, කඩුවෙල, හෝමාගම, කොළඹ, සීතාවක, රත්මලාන, තිඹිරිගස්යාය, මහරගම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වේ.
නිවාස 03කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 239කට අර්ධ හානි සිදුවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.
මේ අතර බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගොඩබිමට පැමිණීමට නොහැකිව සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු අද දහවල් ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මඟින් මුදාගනු ලැබීය.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම මුදාගැනීමේ මෙහෙයුම දියත්කර තිබුණි.