කොකේන් කිලෝ 10ක් කටුනායකදී හසුවෙයි
May 30, 2025 08:20 am
සෙල්ලම් භාණ්ඩ තුළ සඟවා මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 517ක වටිනාකමක් සහිත කොකේන් තොගයක් සහ තායිලන්ත ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ තුළදී අද (30) අලුයම අත්අඩංගුවට ගත්තේය.
ඒ, රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීය.
ඇය සන්තකයේ සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් තොගය කිලෝග්‍රෑම් 10.3කි.
සැකකරිය කටාර් ගුවන් සේවයේ ගුවන්යානයකින් අද උදෑසන දෝහා නගරයේ සිට මෙරටට පැමිණ තිබුණි.
ඇයගේ වයස අවුරුදු 39කි.
මෙය ඉතිහාසයේ විශාලතම ගුවන්තොටුපොළ කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම බවද රේගු නිලධාරීන් පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරිය සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.