රැකියා වෙළෙඳපොළට  AI බලපෑම

රැකියා වෙළෙඳපොළට AI බලපෑම

May 28, 2025   03:09 pm

පරිගණක තාක්ෂණයේ උසස් මට්ටමක් වන AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පරිගණක ක්ෂේත්‍රයේ රැකියා රැසක් දැනටමත් අහිමි කර ඇති බව නව අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ.

විශේෂයෙන් මේ තත්ත්වය බලපා ඇත්තේ ආරම්භක මට්ටමේ යොවුන් පිරිසටයි.

තාක්ෂණික සමාගම්වල ආරම්භක මට්ටමේ රැකියා සඳහා ඔවුන්ට කෘත්‍රිම බුද්ධිය සමග තරග කිරීමට සිදුව ඇති බව එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර කේන්ද්‍රගත 'සිග්නල්ෆයර්' නැමැති තාක්ෂණික ආයෝජන අරමුදල් සමාගම විසිනි.

'2025 තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා' නමින් ඉදිරිපත් කර ඇති අදාළ වාර්තාව මඟින් පෙන්වාදී ඇති ප්‍රධානතම කරුණක් තමයි තාක්ෂණික ක්ෂේත්‍රයට බඳවාගැනීම් සිදුකිරීමේදී ඇතිවී තිබෙන වෙනස.

එහිදී ගූගල්, ඇමසන්, ඇපල්, මෙටා, මයික්‍රොසොෆ්ට්, එන්වීඩියා සහ ටෙස්ලා යන ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම්වලට නව උපාධිධාරීන් බඳවා ගැනීම 2022 වසරේ සිට මේ දක්වා 50%කින් පමණ අඩු වී ඇති බව අනාවරණය වේ.

තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන්ට මීට පෙර මෙම තාක්ෂණ සමාගම්වල ආරම්භක මට්ටමේ රැකියා සඳහා පැවතුණේ ඉතා ඉහළ ඉල්ලුමකි.

එහෙත් AI තාක්ෂණයේ දියුණුවත් සමග එම තත්ත්වය වෙනස් වී ඇති බව සිග්නල්ෆයර් වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

අරමුදල් සීමා සහිත වීම, තාක්ෂණික කණ්ඩායම්වල සාමාජික සංඛ්‍යාව අඩුවීම, නව උපාධි වැඩසටහන් සීමිත වීම සහ AI තාක්ෂණය අති ශීඝ්‍ර වර්ධනයක් ලැබීම ද මේ තත්ත්වයට බලපා ඇති බව එම වාර්තාවේ දැක්වේ.

පොදුවේ තාක්ෂණික සමාගම්වල රැකියා අවස්ථා සඳහා AI තාක්ෂණයේ දියුණුවෙන් බලපෑමක් ඇතිවුවත්, මධ්‍යම සහ උසස් මට්ටමේ රැකියාවලට බඳවා ගැනීම් 2023 වසරේදී සාපේක්ෂව ඉහළ මට්ටමක පැවති බව වාර්තා වේ. 

එමෙන්ම 2023 වසරේ 25%ක්ව පැවති තාක්ෂණික සමාගම්වල ආරම්භක මට්ටමේ බඳවා ගැනීම්, පසුගිය වසරේදී 7% දක්වා පහත වැටී ඇති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

තාක්ෂණික සමාගම්වල බඳවා ගැනීමේ ප්‍රවණතාවන් පිළිබඳ මෙම වාර්තාව සකස් කිරීම සඳහා සිග්නල්ෆයර් විසින් තමන්ගේ බීකන් (BEACON) AI වේදිකාව භාවිත කිරීම ද විශේෂත්වයකි.

එමඟින් ලොව පුරා ආයතනය සහ සංවිධාන මිලියන 80ක, මිලියන 650ක් වෘත්තිකයන්ගේ දත්ත විශ්ලේෂණය කර තිබේ.

මේ විදියට නව උපාධිධාරීන් බඳවාගැනීම සීමා කර ඇත්තේ ප්‍රධානපෙළේ තාක්ෂණ සමාගම් විතරක් නොවෙයි.

SRATRUPS (ස්ටාටප්ස්)  නැත්නම් නවෝත්පාදන සමාගම් පවා නව උපාධිධාරීන් හෝ ද්වීතියික අධ්‍යාපනය අවසන් කළ යොවුන් පෙළ තම ආයතනවලට බඳවා ගැනීම දැන් අඩු වී ඇති බව සිග්නල්ෆයර් වාර්තාව අනාවරණය කරයි. 

ආයෝජන අරමුදල් සමාගම්වල මූල්‍ය සහාය ලැබූ එවැනි නව ව්‍යාපාර සඳහා බඳවා ගැනීමේ ප්‍රතිශතය 2023 වසරේ 11%ක් වුවත්, පසුගිය වසරේදී එය 6% දක්වා පහත වැටී තිබේ. 

ගෝලීය වසංගතයට පෙර 2016 වසරේදී මෙම ස්ටාටප්ස් (STARTUPS)වලට බඳවා ගැනීමේ ප්‍රතිශතය 30% ක් ඉහළ මට්ටමක පැවතුණි.

අරමුදල් සීමිතවීම සහ AI තාක්ෂණයේ හැකියාවන්ට අමතරව මෙම බඳවා ගැනීම් අඩුවීමට තවත් හේතුවක් තමයි ජෙන් ඉසෙඩ් (GEN-Z) නැත්නම් ඇල්ෆා පරම්පරාවේ යොවුන් පෙළ සම්බන්ධයෙන් ඊට පෙර පරම්පරාවේ කළමනාකරුවන් දරණ ආකල්පය.

තාක්ෂණය, ස්මාට් ජංගම දුරකථන සහ අන්තර්ජාලය බලවත් වූ පරිසරයක හැදී වැඩුණු මේ යොවුන් පෙළ කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමට ලැඳියාවක් නොදක්වන බව ඔවුන්ගෙන් බහුතරයකගේ (55%) ක අදහසයි.

මේ විදියට ඇල්ෆා පරම්පරාව නැත්නම් (GEN-Z) විදියට හඳුන්වන්නේ 1997ත් 2012ත් අතර උපන් අය. 

තාක්ෂණ සමාගම් කළමනාකරුවන අතුරින් 37%ක් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් GEN-Z පරපුරේ අය බඳවා ගැනීමට වඩා AI තාක්ෂණය යොදා ගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවය.

සිග්නල්ෆයර් වාර්තාව මඟින් පෙන්වා දෙන තවත් කාරණයක් තමයි අමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් පරිගණක තාක්ෂණ උපාධි ලැබූවන්ට පවා ප්‍රධානපෙළේ තාක්ෂණ සමාගම් (BIG TECH COMPANIES)  කනිෂ්ට මට්ටමේ රැකියා ලබාගැනීමේදී මේ තත්ත්වය බලපාන බවය.

තවත් සුවිශේෂී කාරණයක් තමයි මෙම ප්‍රධානපෙළේ තාක්ෂණ සමාගම් නිෂ්පාදන සහ අලෙවි වැනි තාක්ෂණික නොවන කාර්ය භාරයන් සඳහා ද AI තාක්ෂණය යොදාගැනීම.

ඒ වගේම ඔවුන් තම සමාගම්වල බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විශාල කොටසක් AI තාක්ෂණයට පවරා ඇති බව අදාළ වාර්තා මඟින් සඳහන් කළේය.