මහනුවරට පැය 36ක ජල කප්පාදුවක්

මහනුවරට පැය 36ක ජල කප්පාදුවක්

May 28, 2025   10:40 am

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙයි.

මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවු ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද (28) සවස 2.00 සිට 30 වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.

ජලනල පද්ධතියේ බිඳවැටීම මේ වන විටත් යථාවත් කිරීමේ කටයුතු ආරම්භකර ඇති බැවින් ගබඩාකර ඇති ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන මෙන් මහනුවර නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.