රන් ආලේපිත ගිනි අවිය පිටුපස සිටින ප්‍රබලයා ගැන තොරතුරු
May 22, 2025 07:01 pm
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය අඟහරුවාදා මෙම ගිනි අවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මේ වනවිට පොලිස් රැඳවුම් භාරයේ පසුවෙයි.
කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට බෑගයක් තුළ බහාලූ ගිනි අවියක් රැගෙන ඇතුළුවීමට ගිය එහි පදිංචි කාන්තාවක් ඇතුළු කතුන් දෙදෙනෙක්, ඉකුත් අඟහරුවාදා දින අත්අඩංගුවට ගැනුණේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශ පොලිසියට කළ දැනුම්දීමකට අනුවය.
එහිදී කාන්තාවගේ බෑගයේ තිබී T56 ගිනි අවියක් සහ මැගසිනයක් පොලිසිය සොයාගත් අතර එය රන් සහ රිදී පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි.
ඔවුන් පවසා තිබුණේ අගුළු දැමීමට නොහැකි තත්ත්වයක පවතින සිය මෝටර් රථයේ ඩිකියට කිසිවකු විසින් අදාළ ගිනි අවිය සහිත බෑගය දමා තිබූ අතර එය සෙල්ලම් බඩුවක් බව සිතා රැගෙන ගිය බවය.
අත්අඩංගුවට ගැනුණු කතුන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකාරිය අනාවරණ කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම ගිනි අවිය සිය නිවසේ සේවය කරන අරක්කැමියා හරහා තමාට ලබාදුන් බවය.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ අරක්කැමියා ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණි.
විමර්ශන නිලධාරීන් පැවසුවේ ඔහුට මෙම ගිනි අවිය ලබාදී ඇති අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරන බවය.
මේ අතර අද (22) පැවති වැඩසටහනකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගෙන් මාධ්‍යවේදීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, "පොලීසියට සම්පූර්ණ අයිතිය තිබෙනවා.. විමර්ශන කරලා ඒවා කාගේද කියලා හොයාගන්න."