Eurovision ගායන තරගයේ ජය ඔස්ට්‍රියානු ගායක JJට

Eurovision ගායන තරගයේ ජය ඔස්ට්‍රියානු ගායක JJට

May 18, 2025   06:21 pm

යුරෝපානු කලාපීය ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන 'යුරෝවිෂන්' ගායන තරගය මෙවර ජය ගැනීමට 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක JJ සමත්ව තිබේ.

යුරෝපානු ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන ජාත්‍යන්තර යුරෝවිෂන් ගායන තරගය සැලකෙන්නේ ලොව විශාලතම ගායන තරගාවලිය ලෙසයි.

ඒ අනුව 69වැනි යුරෝවිෂන් තරගාවලිය මෙවර උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බාසල් නගරයේ දීය.

ලොව පුරා සංගීත ලෝලීන් මිලියන 160 ඉක්මවූ පිරිසක් රූපවාහිනිය ඔස්සේ යුරෝවිෂන් නරඹන අතර සිය ප්‍රියතම තරඟකරුවාට මනාපය පළ කිරීමටත් ඔවුන්ට අවස්ථාව හිමි විය.

ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන්නේ ජනතා මනාපය සහ තරගය විනිශ්චයට එක්වන ජූරි සභිකයින් පස් දෙනාගේ මනාපය සැලකිල්ලට ගනිමිනි.

මෙවර තරගාවලියේ දී ජයග්‍රාහක ඔස්ට්‍රියානු ගායක JJ දිනාගත් ලකුණු සංඛ්‍යාව 436කි.

ඊශ්‍රායලය තරගකරු ලකුණු 357ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයත් එස්ටෝනියා තරඟකරු ලකුණු 356ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබුණි.

මීට පෙර 1966 සහ 2014 වසරවල දී ඔස්ට්‍රියාව යුරෝවිෂන් තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව මෙය ඔස්ට්‍රියානු ජතික තරගකරුවෙක් යුරෝවිෂන් කිරුළ හිමිකරගත් තෙවැනි අවස්ථාවය.