ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න පොලීසියෙන් විශේෂ කමිටුවක්

ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න පොලීසියෙන් විශේෂ කමිටුවක්

May 13, 2025   09:18 am

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත් බව පොලීසිය පවසයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

එමෙනම් අදාළ කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා ඇත.

මේ අතර කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් තුවාල ලබා පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය ඇතුළු පිරිසක් රෝහල වෙත ගොස් තිබේ.

අදාළ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර විමසා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව රජයෙන් ලබාදිය යුතු සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන එකම පවුලේ දරුවන් තිදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ අතර පුද්ගලයින් 22කුගේ ජීවිත අහිමි කරමින් පසුගියදා සිදුවූ අදාළ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ අදාළ අනතුරින් ජීවිතය අහිමි වූ පුද්ගලයින්ගේ පවුල්වලට සිය රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළකරන බවය.

අනතුර සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වූ බවත් තුවාල ලැබූ පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් චීන තානාපති කාර්යාලය පවසයි.