ඡන්දය භාවිත කිරීමට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
May 2, 2025 01:23 pm
රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (02) මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, ඇගලුම් කම්හල්වල සේවකයින්ට හා ශිෂ්‍යයින්ට නිවාඩු ලබාදීම අත්‍යවශ්‍ය වන බවය.
රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා පැය 02ක නිවාඩුවකට යටත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය අනුව ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන ප්‍රමාණවත් කාල සීමාවක් නිවාඩු ලබා දීම අත්‍යාවශ්‍ය බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පෞද්ගලික අංශයට නිවාඩු ලබා දීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ අනුව, කිලෝ මීටර් 40ක් හෝ ඊට අඩු වේ නම් දින භාගයක්, කිලෝමීටර 40- 100ත් අතර නම් එක් දිනකුත්, කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින 1 ½ ක්, කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු ලබා දිය යුතු බව සදහන් වේ.
කෙසේවෙතත් ඇතැම් ඡන්ද දායකයින්ට ඡන්ද පොළට යාම සඳහා පවතින දුර ප්‍රමාණය අනුව මීට වඩා වැඩි දින ප්‍රමාණයක නිවාඩු අවශ්‍ය විය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මෙහිදී පැවසීය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකේ.
මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අවසන් කර ඇති අතර නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවද මැතිවරණ කොමිසම පවසයි.