තුසිත හල්ලොලුවට ඇප

තුසිත හල්ලොලුවට ඇප

May 2, 2025   12:52 pm

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත්  පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව මහතා ඇපමත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියම කර තිබේ.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ  ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ සිටියේ තම සේවාදායකයා 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අතර අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන පරිගණකය හා ජංගම දුරකථනය තම සේවා දායකයාට ද ලැබුණු බවය. 

පසුව සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී එම පරිගණකය හා ජංගම දුරකථනය වෙනුවෙන් ගෙවිය යුතු ගෙවීම් ලබාදීමට තම සේවා දායකයා ඉදිරිපත් වුණත් එම මුදල ලොතරැයි මණ්ඩලයේ විසින් බාර නොගත් බවත් පැවසුවේය. 

පසුව තම සේවාදායකයා ඉකුත් ඔක්තෝබර් මස එම ගෙවිය යුතු මුදල් තැපැල් කාර්යාලයෙන් මුදල් ඇනවුමක් මාර්ගයෙන් ගෙවීමට කටයුතු කර ඇති බවත් නීතිඥ පතිරණ මහතා අධිකරණය හමුවේ පැවසුවේය.

මෙහිදී කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරු විසින් අදාළ මුදල් ගෙවීම සිදුකර තිබෙන්නේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් වීමෙන් පසුව බව සඳහන් කළේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ බව නියෝග කළාය. 

ඉන් අනතුරුව නඩුව නැවත මැයි මස 30 වන දා කැඳවීමටද නියම කෙරුණාය.

මෙම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් වුණේ සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙනි.