අන්තර් නිවර්තන අභිසාරී කලාපය නිසා මෙරට කාලගුණයට බලපෑම්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය නිසා මෙරට කාලගුණයට බලපෑම්

April 26, 2025   06:21 am

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.