විදුලි ඉල්ලුම අඩු වෙයි - සෝලා පැනල් ක්‍රියා විරහිත කරන්නැයි දැනුම් දීමක්

විදුලි ඉල්ලුම අඩු වෙයි - සෝලා පැනල් ක්‍රියා විරහිත කරන්නැයි දැනුම් දීමක්

April 13, 2025   10:39 am

උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බැවින් පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවි කර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අද සිට (13) එළැඹෙන අප්‍රේල් 21 දක්වා දින 09ක කාලයක් පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත ඊයේ (12) දැනුම් දීමට පියවර ගත්තේය.

එහිදී විදුලිබල මණ්ඩලය පැවසුවේ විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශත්කි දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවය.

ඒ අනුව එහි ප්‍රතිපළයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති අතර ඊට සුළු උච්චාවඡනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමක අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම කාල සීමාව තුළ විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැන තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ විදුලි බල මණ්ඩලයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බවය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා,

"මේක කිසිසේත්ම අපිට පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද මේ පද්ධතිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලය අතේ. 2016 සිට අද දක්වා වසර 9ක කාලයක් තිබ්බා නිසි පරිදී මේ පද්ධතිය යාවාත්කාලීන කරන්න. මේ දේ එනබව ඔවුන් දැනගෙන හිටියා. අපි ඔවුන්ට 2019 ඉඳන් කියලා තියෙනවා බැටරි පද්ධති ගන්න අවශ්‍යයි, හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස්වලට අවසර දෙන්න අවශ්‍යයි කියලා. අද වෙනතුරුත් මේ දේ නෑ. ඔවුන්ට තියෙන එකම ක්‍රමවේදය තමයි ඔවුන් මේකට කැමති නෑ. ඔවුන් මේක කපන්න බලන්නේ. අපි සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වගේම සම්පූර්ණ සූර්ය බල ශක්ති පද්ධතියට මේ බර පටවන්න එපා. අපි ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කරපු වැඩපිළිවෙළකට සහාය දීම පමණයි සිද්ධ කරලා තියෙන්නේ. පද්ධති පාලනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ ඔවුන්ට මේ දේ කරගන්නට නොහැකි වුණානම් ඒ නොහැකියාවේ වගකීම සම්පූර්ණයෙන් භාර ගන්න. තමන්ගේ රාජකාරිය කරගන්න බැරිනම් කරුණාකරලා අයින් වෙලා යන්න. මේ රටට සුනිත්‍ය බලශක්තියේ ඉදිරි ගමනට ඉඩදීලා..."