පදක්කම් දිනූ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම දිවයිනට
April 8, 2025 09:27 am
ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ජයග්‍රාහි සවි එසවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිගැනීමට ඔවුන්ගේ පවුල්වල නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.
ඔස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලිය සඳහා ආසියා - පැසිපික් කළාපයේ රටවල් 18ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ එක්ව සිටියහ.
මෙහිදි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක, කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේ තරග කළ විකුම් පෙරේරා සහ කිලෝ ග්‍රෑම් 94 කනිෂ්ඨ අංශයෙන් තරග කළ මිනුර ගිම්හාන , එම අංශවලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුණි.
මීට අමතරව කිලෝ ග්‍රෑම් 94 ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කළ මිනුර ගිම්හාන එම අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත්වුණි.
එසේම මෙම තරගාවලියට දැනට ඔස්ට්‍රේලියාවේ පදිංච් වී සිටින ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක යුවළක් වන රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණි.
එහිදී වයස අවුරුදු 50ට වැඩි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ රුවන් පෝල් සහ කිලෝ ග්‍රෑම් 100 බර පංතිය යටතේ වයස අවුරුදු 50ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ ලීඩියා පෝල් ද එම අංශවලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.