ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

March 21, 2025   01:43 pm

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 10 දෙනා තවදුරටත් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන් අද "ස්කයිප්" තාක්ෂණය මාර්ගයෙන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබීය. 

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින මීගමුව පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි යන කාන්තාව අතර සම්බන්ධතා පැවැති බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවේය. 

එම සැකකාරිය විසින් සිය දුරකථනය ඔස්සේ මෙම තුන්වන සැකකරුට ගිනිඅවි දෙකක් පිළිබඳ ඡායාරූප ඒවා ඇති අතර ඒවා ඔහු විසින් මකා දමා තිබූ බව සඳහන් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පසුව සිදුකළ විමර්ශනවලදී එම ඡායාරූප යළි සොයා ගත් බවත් පැවසුවේය.

එම ඡායාරූපවල තිබෙන ගිනිඅවිවලින් එකක් මෙම වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කරන බවත් අනික් ගිනිඅවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පැවසුවේය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 55 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන ඇති අතර රාජ්‍ය ආයතනවලින් තවත් සාක්ෂි 25ක් පමණ එක් රැස් කරගෙන තිබෙන බවත් පොලීසිය සඳහන් කර සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතුරුගිරිය පොලීසියේ සේවය කළ නිලධාරියාට එරෙහිව සෘජු සාක්ෂි අනාවරණය වී තිබෙන බවත් පොලීසිය පැවසුවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන අතර සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් යළි ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.