කොටහේන වෙඩි තැබීමේ සිද්ධිය - මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අරඹයි

කොටහේන වෙඩි තැබීමේ සිද්ධිය - මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අරඹයි

March 14, 2025   04:32 pm

පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු අවි ආයුධ සෙවීම සඳහා මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (14) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ මෙම පරීක්ෂණය සිදුවුණි.

එහිදී කොටහේන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනාරච්චිගේ රවී සමන්ත මහතා සාක්ෂි දෙමින් ඉකුත් පෙබරවාරි මස 21 වනදා රාත්‍රී විශේෂ මෙහෙයුම් රාජකාරියක නිරත වී සිටියදී කොටහේන, බොන්ජියන් හන්දිය ප්‍රදේශයෙහි වෙඩිතැබීමක් සිදුවී ඇති බවට දුරකථන ඇමතුමක් ලැබුණු බව පැවසුවේය.

පසුව වෙඩිතැබීම සිදුවූ වෙ‍ෙළඳ සැල වෙත තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගිය බවත් වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා රෝහලට රැගෙන ගොස් තිබූ බව දැනගත් බවත් ඔහු කියා සිටියේය. 

වෙඩි තැබූ සැකකරුවන් යතුරු පැදියකින් ආමරවීදිය දෙසට පලා ගිය බව එහි සිටි පිරිස ප්‍රකාශ කළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව දුරකථන ඇමතුමක් ලැබුණු අතර ඒ අනුව ක්‍රියාත්මක වූ තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගිය බවත් පැවසුවේය.

එම ස්ථානයට ළඟාවන විට එහි කලබලකාරී තත්ත්වයක් පැවැති අතර පසුව එම සැකකරුවන් දෙදෙනා තමන් භාරයට ගෙන ආරක්ෂිත ලෙස කොටහේන පොලිස් ස්ථානයට රැගෙන ආ බව ඔහු කියා සිටියේය.

පසුව එම සැකකරුවන්ගෙන් එක් අයෙකු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අශෝක ලක්මාල් ජයවර්ධන ලෙස අනාවරණය කරගත් අතර ඔහු යුද හමුදාවේ යුද අවි පුහුණුව ලබා තිබූ අයෙකු බව අනාවරණය වූ බවත් සාක්ෂිකරු කියා සිටියේය.

ඔහු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් අනෙක් සැකකරු විජය කුමාර් ප්‍රකාෂ් යනුවෙන් හඳුනාගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ප්‍රශ්න කිරීම්වලදී මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙකු වන "ශිරාන් පලනි" නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකළ බව සැකකරුවන් ප්‍රකාශ කළ බවත් ඒ සඳහා ගිනිඅවිය මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ලබා දුන් බව ඔවුන්ගෙන් අනාවරණය කරගත් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

ශිරාන් පලනී යනු සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙකු වන අතර ඔහු විසින් ජම්පටා වීදිය, මෝදර,  මට්ටක්කුලිය, ප්‍රදේශවල ඉකුත් කාලයේ සිදු වූ අපරාධ ක්‍රියා රැසක්ම මෙහෙයවා තිබෙන ප්‍රබල සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙක් බවත් සාක්ෂිකරු අනාවරණය කළේය. 

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අවි ආයුධ සමහරක් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයේ සඟවා ඇති බව සැකකරුවන් ප්‍රකාශ කළ අතර ඉන් පසුව ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ දැඩි ආරක්ෂක රැකවරණ මැද මෙම සැකකරුවන් දෙදෙනා රැගෙන නිලධාරීන් කණ්ඩායමක් සමග එම ස්ථානයට  ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

සැකකරුවන් සඳහන් කළ කාකදූපත ප්‍රදේශයේ පිහිටි අදාළ ස්ථානයට ගිය විට එහි ඝණ අන්ධකාරයක් පැවති අතර  විදුලි පන්දම් ආධාරයෙන් සැකකරුවන් විසින් පෙන්වා සිටි පොල් පැළයක් අසල පරීක්ෂාවක් සිදුකළ බවත් එම ස්ථානයේ සිට සුදු පැහැති බෑගයක දමා තිබූ යමක් හමු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළේය. 

වැඩිදුරටත් සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා "ඒ සමගම සැකකරුවන් දෙදෙනා මා සමග පොර බදින්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මගේ අතේ තිබූ ගිනිඅවිය ගිලිහී ගිය බව දැනුනා. ලක්මාල් ජයවර්ධන නමැති සැකකරු විසින් ගිනිඅවිය පැහැර ගත් බව මට තේරුම් ගියා."වෙපන් එක අරගත්තා. වෙඩි තියයි" කියලා මම කෑගැසුවා. ඒ සමගම වෙඩි ශබ්ද කීපයක් ඇසුණා. ජයශංක නැමති නිලධාරියා විසින් සැකකරුවන්ට වෙඩි තබා තිබූ බවත් පසුව අනාවරණය වුණා. ලක්මාල් ජයවර්ධන  කියන සැකකරු යුද හමුදාවේ අවි ආයුධ පුහුණු ලැබූ තැනැත්තෙක්. ඔහු අතට මේ ගිනිඅවිය පත්වී තිබුණා නම් ඔහු වෙඩි තබා අප සියලුදෙනා මරා දමනවා. සැකකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල නොකළා නම් එවැනි තත්ත්වයක් උද්ගතවීමට හැකියාව තිබුණා." යනුවෙන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා කියා සිටියේය.

මෙම සිද්ධියේදී මධුසංඛ නමැති පොලිස් කොස්තාපල්වරයා ගේ කකුල්වලටද තුවාල සිදුවූ අතර සැකකරුවන් හා වෙඩි වැදුණු පොලිස් නිලධාරියා රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් සාක්ෂිකරු පැවසුවේය. 

ඉන්පසුව එම සැකකරුවන් දෙදෙනා මියගිය බව සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ සේනක පෙරේරා මහතා ප්‍රශ්නයක් මතු කරමින් පොලිස්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මෙවැනි ආයුධ පෙන්වීමේ අවස්ථාවක් සඳහා සැකකරුවන් රැගෙන යන විට එම අවස්ථාව වීඩියෝ ගත කළ යුතු බවට දක්වා ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධිය වූ අවස්ථාව වීඩියෝ ගත කළේදැයි නීතිඥවරයා සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවේය.

" ස්වාමීනී.. එවැනි වීඩියෝ ගත කිරීමක් කරන්න හැකියාව ලැබුණේ නෑ. මොකද මේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රසිද්ධියට පත්වුණා. ඒ අනුව ඔවුන් සඟවා තිබෙන ආයුධ ක්ෂණිකව සොයා ගැනීමට  කටයුතු නොකළොත් ඒවා වෙනත් පාර්ශවයක් විසින් ලබා ගෙන අපරාධ ක්‍රියාවල යෙදවීමට හැකියාව තිබුණා. එම තත්ත්වය මත වීඩියෝ ගත කිරීමට නොහැකි වුණා. මෙවැනි වීඩියෝ ගත කිරීමක් කරනවා නම් ඒ සඳහා පොලිස් අපරාධ වාර්තා අංශයේ පළපුරුදු වීඩියෝ පටිගත කරන්නෙකුගේ සහාය ලබාගත යුතුයි." යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මතුවී තිබූ හදිසි තත්ත්වය මත එවැන්නක් කිරීමට නොහැකි වූ බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

නීතිඥ සේනක පෙරේරා මහතා තවත් ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඔවුන්ගේ අත්වල මාංචු දමා තිබූ බව පොලීසිය විසින් ප්‍රකාශ කළ අතර එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් පොලිස් නිලධාරීන් සතුව තිබූ අවි ආයුධ උදුරා ගන්නේ කෙසේදැයි සැකයක් මතුවන බව සඳහන් කළේය.

ඊට පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා "ස්වාමීනී...එක් මාංචු කුට්ටමක එක් කොනක් එක් සැකකරුවකුගේ අතට දමා තිබූ අතර අනිත් කොන අනිත් සැකකරුගේ අතට දමා තිබුණා. ඉතින් සැකකරුවන් දෙදෙනාගේ එක් අතක් නිදහස්වයි තිබුණේ." යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එබැවින් ඔවුන්ට යමක් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළේය. 

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 21 වනදා තෙක් කල් තිබුණි.