කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න -ජනපති
March 14, 2025 02:54 pm
කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළ නමුත් මෙතෙක් නිදහස් කර නොමැති ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලබා දී තිබේ.
ජනාධිපතිවරයා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි.
ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදුකිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශීය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
එමෙන්ම, දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම සඳහා ආනයන සීමා පවත්වාගෙන යාම හා විගණනය කිරීම, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රසම්පාදනයේ දී දේශීය සැපයුම්කරුවන් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ එහි පූර්ණ ආදායම ජාතික ආර්ථිකයට එකතු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිරි ගැන්වීම සඳහා සංචාරකයින්ට ලබා දෙන බදු නිදහස් කිරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.